“අගමැති රටට ඩොලර් එන මාර්ග අහුරගෙන ඉන්නවා” – ධම්මික පෙරේරාගෙන් චෝදනාවක් – Lanka Fact | සිංහල

Date:


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැයි 12 වැනි දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධුරය භාරගත්තේ ය. වත්මන් මුදල් අමාත්‍යවරයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ ය.

මේ වන විට ඔහුගේම කැබිනට් මණ්ඩලයේ නවක අමාත්‍යවරයෙකු මෙන්ම මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද වන ධම්මික පෙරේරා ඔහුට මුදල් අමාත්‍යධුරයෙන් ඉවත් වන ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ආර්ථික අර්බුදය විසඳීමේ මඟ ගැන ප්‍රසිද්ධ විවාදයකට ද ධමිමික පෙරේරා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අද ප්‍රසිද්ධියේ අභියෝග කරනු ලැබීය.

මින් හැඟවෙන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරය භාරගෙන මාස දෙකක් ගතවීමටත් පෙර ආණ්ඩුව තුළ නව අර්බුදයක් හටගෙන ඇතිබව ද? නැතහොත් මෙය තවත් දේශපාලන නාටකයක් ද? මේ විමසා බැලීම ඒ පිළිබඳව යි.

රනිල්ට වැඩපිළිවෙලක් නැහැ!

අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේ මතුව ඇති ආර්ථික අර්බුදයට පිළියම් යෙදීමට අසමත්ව ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ඊයේ (ජූලි 06) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේ ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහා ඉල්ලා අස්විය යුතුයි-ධම්මික පෙරේරා

රටේ මතුව ඇති සියලු ආර්ථික ගැටළු ඩොලර් අර්බුදය හා බැඳී ඇති බවත්, එම ඩොලර් අර්බුදය විසඳීමට මුදල් අමාත්‍යවරයා සතුව සාර්ථක වැඩපිළිවෙලක් නැති බවත් ඔහු කියා සිටියේ ය.

රට තුළට ඩොලර් ගලනය සඳහා වැඩපිළිවෙලක් යොදනු වෙනුවට හිතමිතුරන්ගෙන් මුදල් ණයට ගැනීමේ ප්‍රතිපත්තියක් ඔහු අනුගමනය කරමින් සිටින බවට ධම්මික පෙරේරා ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ තරම් ඉහළ මට්ටමක කිසි දිනෙක නොතිබූ බව පැවසූ ඔහු, උද්ධමනය අඩු කරන බව පවසන මුදල් අමාත්‍යවරයාට උද්ධමනය අඩු කිරීමේ වැඩපිළිවෙළක් හෝ නොමැති බව ඔහු කියා සිටියේ ය.

පොලී අනුපාත ඉහළ ගොස් තිබීම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සහ අනෙකුත් කර්මාන්තවල පැවැත්මට අහිතකර ලෙස බලපා ඇති බව පෙන්වා දෙන ධම්මික පෙරේරා, මුදල් අමාත්‍යවරයාට පොලී අනුපාත අඩු කිරීමට හෝ කිසිදු සැලසුමක් නැති බව ද චෝදනා කළේ ය.

ඩොලර් ඉපැයීම්, ණය ගැනීම්, පවතින ණය මාර්ග පහසුකම් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගැනීමේ ණය පහසුකම් සම්බන්ධ සියලු කාරණා ප්‍රමාද කරන මුදල් අමාත්‍යවරයා, ජාත්‍යන්තර මාධ්‍ය හමුවට ගොස් මෙම කාලසීමාව තුළ සංචාරකයන්ට රටට නොපැමිණෙන ලෙස උපදෙස් ලබාදීමෙන් සංචාරක කර්මාන්තය ඔස්සේ ලැබීමට ඇති ආදායම් ද බිඳවට්ටවා ඇතැ යි යන්න ඔහුගේ තවත් චෝදනාවකි.

ශ්‍රී ලංකා මහ බැංකුව විදෙස්ගත ලාංකිකයන්ගේ ප්‍රේෂණවලින් අමතර ආදායමක් ලබා ගැනීමට සැලසුම් සකස්කර ඇතිමුත් මුදල් අමාත්‍යවරයා නිවේදනය කරන්නේ ඇමරිකානු ඩොලරය රු. 450 දක්වා ඉහළ යාමේ අවදානමක් ඇතැ යි යන්න බවත්, මෙවන් ප්‍රකාශ ඔස්සේ විදේශ ප්‍රේෂණ රට තුළට ගලාඒම පවා නතරවිය හැකි බවත් අමාත්‍ය පෙරේරා අවධාරණය කළේ ය.

“තවදුරටත් නිහඬව ඉන්න බෑ. මෙතනින් එහාට මමත් අරගලයේ සපෝට් එකට එළියට බහිනවා,” නව අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.

අගමැතිවරයා රටට ඩොලර් ගෙනඑන මාර්ග අහුරාගෙන සිටින බවට චෝදනා කළ ඔහු, එවැනි ක්‍රියා සිදුකිරීමට තමා මින් මතු ඉඩ නොතබන බවට පැවසීය.

“කිසිදු කොළ කැබැල්ලක් අතේ නොමැතිව අගමැතිවරයා හෝ ඔහුගේ ආර්ථික විශේෂඥයන් 10ක් සමග වුව ද සංවාදයකට” තමා සූදානම් බව ද ඔහු කියා සිටියි.

රට තුළ මතුව ඇති අර්බුදය පිළිබඳව මුදල් අමාත්‍යවරයා දෙසතියක් තුළ ලබාදුන් යාවත්කාලීනය, ධනවත් පුද්ගලයන්ට තම මුදල් ද සමග රටින් පිටව යන්නැ යි කරන ඉඟියක් බවත්, මෙමඟින් ඩොලර් අර්බුදය ඉහළම හිනිපෙත්තට යා හැකි බවත් ඔහු චෝදනා කරයි.

කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරරේරා, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමෙන් ඇතිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්කෙරුණු අතර ජනපති වටයා ඔහුට කැබිනට් අමාත්‍ය ධුරයක් පිරිනැමිණ.

දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ දේශපාලනය පිළිබඳව එතරම් දැනුමක් නොමැති ව්‍යාපාරික ධම්මික පෙරේරා කැබිනට්ටුවේ සාමූහික වගකීම් පිළිබඳ සංකල්පය බිඳ දමා ඇති බවයි.

ප්‍රවීන ආර්ථික විශ්ලේෂක ඩබ්ලිව් ඒ විජේවර්ධන පවසන්නේ “1982 දී මුදල් අමාත්‍ය රොනී ද මෙල්ගේ අයවැය පාර්ලිමේන්තුවේදී විවේචනය කිරීම නිසා ජේආර් එජාපයේ කෘතහස්ත දේශපාලඥයෙකු වූ එම්.ඩී.එච්. ව නෙරපා හැරියේය. ඔහුගේ පාපය: සාමූහික වගකීම කඩ කිරීම; රනිල් වික්‍රමසිංහට මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස විවෘතව කී ධම්මික පෙරේරාට කුමක් සිදුවේද?”

නිමල් සිරිපාල ද සිල්වා ඇමතිධුරයෙන් ඉවත් වෙයි

නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යධුරයෙන් ද ඊයේ (ජූලි 06) තාවකාලිකව ඉවත්විය.

ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග කළ ගනුදෙනුවක් පිළිබඳව විපක්ෂ නායකවරයා පෙරේදා (05) පාර්ලිමේන්තුවේ දී නැගූ චෝදනාව සම්බන්ධයෙන් වහා විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබේ.

අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ධුරයෙන් තාවකාලිකව ඉවත්වී ඇත.

ජනපතිගේ නිවේදනය

ජපානයේ තයිසේ (Thaisei) සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලස් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රවෘත්තියක් පළ වී ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙය පදනම් කරගනිමින් ඊයේ පාර්ලිමේන්තුවේ දී කැබිනට් අමාත්‍යවරයෙකු තයිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලා ඇතැ යි ප්‍රකාශ කර ඇති බවත් වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

මෙම ප්‍රකාශවලට අදාල අමාත්‍යවරයා තමා බව සඳහන් නොවුණ ද, තයිසේ සමාගම මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති තමාගේ විෂය පථයට අයත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම වෙත පැවරී ඇති හෙයින් ව්‍යංගාර්ථයෙන් මෙම චෝදනාව එල්ල කර ඇත්තේ තමාට එරෙහිවයැ යි ජනතාව තුළ වැරදි මතයක් ඒත්තු ගතව ඇතැ යි විශ්වාස කරන බව නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

දීර්ඝ කාලයක් දේශපාලනයේ නියැළුණු තමාගේ කීර්තිනාමය විනාශ කිරීම සඳහා දේශපාලන විරුද්ධවාදීන් මෙවැනි ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍ය තුළ නිර්මාණය කර ඇතිවග තම විශ්වාසය බව ද ඔහු ජනාධිපති වෙත යවන ලද ලිපියේ දැක්වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජයේ කීර්තිනාමයත්, තමාගේ නිර්දෝෂිභාවයත් රැකගැනීම සඳහා මෙම චෝදනාව පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම පැවැත්වීමට කටයුතු කරන මෙන් මෙම ලිපිය හරහා ජනපතිගෙන් ඉල්ලා සිටින ඔහු, එම පරීක්ෂණය නිදහස් හා ස්වාධීන පවත්වාගෙන යාමට ඉඩකඩ සලසාදීම සඳහා තමා දරන අමාත්‍යධුරයෙන් වහාම ඉවත්වන බවත්, එම ඉවත්වීම පිළිගන්නා ලෙසත් ප්‍රකාශ කරයි.

නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන අතර වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිකමක් ලබාගැනීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුට විරුද්ධව පියවර ගෙන ඇති අතර ඒ පිළිබඳව නිමල් සිරිපාල ද සිල්වා උසාවි නියෝගයක් ද පක්ෂයට එරෙහිව ගෙන ඇත.

අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්?

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසන පරිදි මාස හයක් තුළ වත්මන් ආර්ථික අර්බුදය විසඳිය හැකි නම් ඔහුට අවස්ථාව ලබාදී ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බව රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පසුගියදා කියා සිටියේ ය.

මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊට ප්‍රතිචාර දක්වමින් දශක සතරක් තිස්සේ ආ ආර්ථික මාවතේ බිහිසුණුම පිපිරීම මේ වන විට සිදුවී ඇති බවත්, එය මාස 7-8කින් ගොඩගැනීම කළ නොහැකි වුව ද මාස හයක් ඇතුළත සමාජය යථාවත්භාවයට පත්කිරීම කළ හැකිබවත් කියා සිටියේ ය.

එම මාස හය තුළ ජනතාවට ඉන්ධන ලබාදීම, ගෑස් ලබාදීම, ඖෂධ ලබාදීම, පාසල් විවෘත කිරීම, රාජ්‍ය ආයතන විවෘත කිරීම, කර්මාන්තශාලා වැසී යෑමට ඇති අනතුර වළක්වා ගැනීම, ධීවරයින්ට මුහුදුයෑමට අවස්ථාවක් නිර්මාණය කර දීම, ගොවීන් නැවත කුඹුරට බැස්සවීම ආදිය සිදුකළ හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

“ඔබතුමා කියන්නේ ඒක මාස හයෙන් කරන්න බෑ කියල ද? ඒ කියන්නේ මාස හයකට වැඩි කාලයක් මිනිස්සු පෝලිමේ මැරෙන්න ඕන ද? ” අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේ අගමැතිවරයා විසින් සිදුකෙරුණු ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

රනිල් වික්‍රමසිංහට ජනවරමක් නැහැ!

“පහුගිය මැයි මාසයේ 11 වනදා අපි මේ රටට ඇතිවී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ යෝජනාවලිය කරුණු දෙකකින් සමන්විත වුණා. මේ ආණ්ඩුවත්, මේ ජනාධිපතිවරයාත් ඉවත්වී අපට භාරදෙනවා නම් අප කැමතියි ඇමති මණ්ඩලයක් මේ 225 තුළින් හදාගෙන ආණ්ඩුවක් කරන්න, අපි භාරගන්න ලෑස්තියි. ඒ නිසා කවුරුහරි කිව්වා නම් අපි භාරගන්න ලෑස්ති නෑ කියලා, අපි භාරගන්න ලෑස්තියි කියල තියෙන්නේ මැයි මාසයේ 11 වෙනිදා.”

“ගොඩාක් ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට තමන්ට වාසි කෑල්ල විතරයි ඇහෙන්නේ. විශේෂයෙන්ම අගමැතිවරයාට, ඔබතුමා කැමති කෑල්ල ඔබතුමාට වාසි කෑල්ල විතරක් ඔබතුමාට ඇහෙන පුරුද්දක් තියෙන බව මම කාලාන්තරයක් තිස්සේ දන්නවා,” අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.

“දෙවැනි යෝජනාව අපේ වුණේ, ඒකට අපිට ඉඩදෙන්නේ නැත්නම් කවර හෝ කණ්ඩායමක් ආණ්ඩුවක් හදාගන්නවා නම්, ඒ ආණ්ඩුව යම් නිශ්චිත වැඩසටහනක් සහ කාලරාමුවක් ඉදිරිපත් කරනවා නම්, විපක්ෂයේ ඉඳන් අපි සහාය දෙන්න ලැස්තියි. මේක තමයි අපේ යෝජනා. ඒ මැයි මාසයේ 11 වෙනිදා.”

“හැබැයි මැයි මාසේ 11 වෙනිදා ඒ යෝජනා සංවාදයට භාජනය වෙන්නත් කලියෙන් හිටි හැටියේ නව අග්‍රාමාත්‍යවරයෙක් හැටියට ඔබතුමා දිවුරුම් දුන්නා අග්‍රාමාත්‍යවරයෙක් හැටියට, එතකොට ඒ යෝජනාව සංවාදයට භාජනය වුණේ නෑ. අපි කියන්නේ මොකක්ද? අපේ රට ඉතාමත් ගැඹුරු ආර්ථික කඩාවැටීමකට මුහුණ දී තිබෙනවා. මෙය ක්ෂණිකව හෝ කෙටිකාලෙක මතුවූ අර්බුදයක් නෙවෙයි. මෙය දිගු කාලයක් අපේ රට අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තියත්, ඒ ආර්ථික ප්‍රතිපත්තිය හා ගැටගැහුණු දේශපාලන සංස්කෘතියත් විසින් තමයි මේ අර්බුදය නිර්මාණය කළේ. බොහෝ අය උපුටා දක්වන්න උත්සාහ කරනවා මේ අර්බුදයේ ආර්ථික කොටස. හැබැයි බොහෝ අය මේ අර්බුදයේ දේශපාලන කොටස සඟවන්න උත්සාහ කරනවා.

“අපේ රටේ බොහෝ සංවර්ධනයැ යි කියන ව්‍යාපෘති සිදුවුණේ අපි හදාගන්නා ලද ආර්ථික සංවර්ධන උපාය මාර්ගයකට නොවේ. අපි හදාගන්නා ලද ආර්ථික උපායමාර්ගයක නම් හම්බන්තොට වරාය කොතන ද තියෙන්නේ, පිරිපහදුව කොතන ද තියෙන්නේ? අපි හදාගන්න ආර්ථික උපායමාර්ගයක උඩින් තියෙන්නේ පිරිපහදුව. ඒ වෙලාවේ පිරිපහදුවට යන්නේ ඩොලර් බිලියනයයි, හම්බන්තොට වරායට ඩොලර් බිලියන එක යි දශම තුන යි. එහෙනම් පිරිපහදුව යටගිහිල්ලා වරාය උඩට එන්නේ කොහොමද?” අනුර කුමාර දිසානායක ප්‍රශ්නකර සිටියේ ය.

“සල්ලි, කමිෂන්, දේශපාලන සංස්කෘතිය, වංචාව, ඒ නිසා මේ අර්බුදයේ ලොකු පංගුවක් තියෙනවා, කොතනද? කවුරුත් මේ අර්බුදයේ හේතු දක්වන්නේ ආර්ථික සාධක. හැබැයි මේ අර්බුදයේ විශාල පංගුවක් නිර්මාණය කරලා තියෙන්නේ මේ දේශපාලන සංස්කෘතිය. අද අපේර ටේ සිදුවී තිබෙන මහා කොන්ක්‍රීට් ඉදිකිරීම්, ඒවා අපේ රටේ ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වුණු සංවර්ධන උපාය මාර්ග ද? ඒවා ජන ජීවිතය ඉහළට ගෙනයන්න බලපෑමක් වුණා ද? කිසිවක් නෑ, පාලුවෙච්ච පාරවල්, හිස් ගොඩනැගිලි, ලොකු කොන්ක්‍රීට් වනාන්තර, විශාල දිසාපති කාර්යාල. මොකක්ද මේ සිදුවී තිබෙන්නේ? මේවා අස්සේ මේ ඔක්කොම ගියේ මේ දේශපාලන සංස්කෘතිය, වංචාව, දූෂණය, නාස්තිය, වරප්‍රසාද ලත් දේශපාලනය. මා යෝජනා කරන්නේ ඒ දේශපාලන සංස්කෘතිය වෙනස්කරන්න ලෑස්තියි අපිට භාරදෙනවා නම්. ඒක තමයි එක. ඔයගොල්ලෝ කරනවා නම්, මොකක්ද කරන්නේ කියල මාස හයක් න්‍යායපත්‍රයක් දෙන්න, ඒ න්‍යායපත්‍රයෙන් පස්සේ මහ ඡන්දයකට එන්න.

“මම මේ අග්‍රාමාත්‍යධුරය භාරගත්තත්, ඔබ භාරගෙන හිටියත් රනිල් වික්‍රමසිංහ, ඔබටත් මටත් මේ පුටුවේ වාඩිවීම සඳහා ජනවරමක් නැතිබව මතක තබාගන්න. අඩුම තරමේ මට ජන වරමක් තියෙනවා පාර්ලිමේන්තුවේ වාඩිවෙන්න. ඔබතුමාට පාර්ලිමේන්තුවේ වාඩිවෙන්න ජනවරමක් තිබ්බෙත් නෑ. එහෙම කෙනෙක් අග්‍රාමත්‍යධුරයේ දින නියමයක් නැතුව, අවසන් වෙන කාලවකවානුවක් නැතුව පාලනය කිරීම යුක්තිසහගත වන්නේ කෙසේද? සාමාන්‍යයෙන් පුවත්පත්වල ලියන්නෙ ඔබ ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියල. හැබැයි මම අහනවා ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට කොතැනද ඒක අනුකූල වන්නේ?

“මම කිව්වා ඒ සාමාන්‍ය තත්ත්වය අපි කෙටි කාලයක් ඇතුලත ඇති කරන්නම්, අනතුරුව මාසහයෙන් පසුව මැතිවරණයකට යමු. ඇයි මම මැතිවරණයක් ඉල්ලන්නේ මොකක් නිසා ද? මේ අර්බුදයෙන් ගොඩඑන්න ස්ථාවර පාලනයක් පමණක් නෙවෙයි, විශ්වසනීය ස්ථාවර පාලනයක් අවශ්‍ය යි. විශ්වසනීයත්වය කඩාවැටුණු පාලනයකින් අර්බුදයට ව්සඳුම් හොයන්න බෑ.”

Short-term proposals by the NPP
ජාතික ජන බලවේගයේ යෝජනාවලිය

ජනපතිට හා අගමැතිට ඉවත්වන ලෙස දැඩි බලපෑමක්

ජනපතිට තවදුරටත් බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බැවින් රට වැටී ඇති ඛේදනීය තත්ත්වයේ වගකීම භාරගෙන තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටියේ ය.

කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ ධුරයෙන් ඉල්ලා අස්වී රටේ අනාගතය ජනතාවට භාර දෙන ලෙස යි.

මේ අතර සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් නොවන්නේ නම් වෘත්තිකයන්, දේශපාලන සංවිධාන ඇතුළු සියලු ජනතාව එක්ව සාමකාමී විරෝධතා දැඩි කිරීමට එක්වන්නැ යි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංමගය නිවේදයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ ය.

ඉන්ධන හෝ වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් හිඟ අවස්ථාවක දී සියලුමදෙනාට යම් සාධාරණ ක්‍රමවේදයක් යටතේ එය ලබා ගැනීමට අවශ්‍ය විධිමත් පියවර ගත යුතු බවත්, එය ජනතාව බෙදා, ඔවුන් අතර ගැටුම් ඇති කිරීම සඳහා ආයුධයක් කර නොගත යුතු බවත් එම සංගමය ප්‍රකාශ කළේ ය.

නව ආරම්භයක් සහතික කිරීම මෙම තීරණාත්මක සන්ධිස්ථානයේ දී සියලුම පුරවැසියන්ගේ ප්‍රමුඛතාව විය යුතු බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියේ ය.

මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු ක්‍රියාකාරීහු පිරිසක් ද ඊයේ කොළඹ කොටුව ජනාධිපති මන්ධිරය ඉදිරිපිට විරෝධතාවක් පවත්මින් ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන්නැ යි බලකර සිටියහ.

එමෙන්ම කොළඹ ගාලුමුවදොර “ගෝටාගෝගම” අරගල භූමියේ සිටින විරෝධතාකරුවන්ගේ ද ප්‍රමුඛ ඉල්ලීම ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්විය යුතු බව යි.

උපුටාගැනීම – www.bbc.com



Share post:

Popular

More like this
Related

The Evolution of Entertainment: A Journey Through Time

The world of entertainment has undergone a transformative journey,...

Breaking News 2024: Navigating Through the Maze of Information

In today's rapidly evolving world, staying informed about the...

Embracing the Magic: A Journey into the World of Entertainment

Entertainment, in all its forms, has the remarkable ability...

Exploring the Dynamic Realm of World News

In an era where the world is more interconnected...